Blog Archives

කලු ජනවාරිය 28 දා, කොළඹ දී..

BJ 2014 Web pach 02

‘කළු ජනවාරිය’ මෙවරත්….[2014]

BJ 2014 Web pach 01

‛ජනවාරිය – ජනවාරිය, මහින්දලගෙ – මහමාරිය’ | ‛කළු ජනවාරි’ විරෝධය ලිප්ටන් වටරවුමේ

IMG_0811
මාධ්‍ය මර්ධනයට එරෙහිවත්, අවනීතියට එරෙහිවත් ‛කළු ජනවාරි’ විරෝධය ඊයේ(29) ලිප්ටන් වටරවුමේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත් වීය. දේශපාලන පක්ෂ නායකයින්, වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, නීතිඥ සංවිධාන මෙන්ම බහුජන සංවිධානවල සමාජිකයින් සහභාගී වූ මෙම විරෝධය ජනමාධ්‍ය සංවිධාන සංවිධාන කරනු ලැබූවේ, විශේෂයෙන් පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල වූ මර්දනයට එරෙහිවත් විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදහන් කිරීම් වලට ලක් වූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කර වගකිව යුත්තන්ට දඬුවම් ලබා දීමට ආණ්ඩුව ක්‍රියා නොකිරීම පිළිබදව විරෝධය පළ කිරීම සඳහා ය.

එහිදී පසුගිය කාලය තුළදී ජනවාරි මාසය තුළ සිදු කළ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සිරස මාධ්‍ය ආයතනයට එල්ල වූ ප්‍රහාරය මෙන්ම මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කිරීම වැනි බරපතල සිදුවීම් ද, ඝාතනය කළ මාධ්‍යවේදී සිවරාම්, නිමලරාජන්, සුගීධරන් මෙන්ම බරපතල ප්‍රහාරයන් ලක්වූ පෝද්දල, කූගනාදන් වැනි මාධ්‍යවේදීන්ට ද තවමත් යුක්තිය ඉෂඨ නොවීම සලකා අදාල විරෝධතාවය ‛කළු ජනවාරිය’ ලෙස නම් කිරීමට තීරණය කරනු ලැබූ බව විරෝධතාවය සංවිධානය කළ මාධ්‍ය සංවිධාන එකතුව ප්‍රකාශ කළේ ය.

කෙසේ නමුත් පසුගිය කාලය පුරාම විශේෂයෙන් ජනවාරි මස තුළදී පමණක් ජනමාධ්‍යට එල්ලකල ප්‍රහාරයන් අති විශාලය. එමෙන්ම බිහිසුනුය. නමුත් ඒ කිසිදු සිදුවීමකට වගකිව යුත්තන් නීතිය ඉදිරියට පැමිණ වීමට පිළිගත හැකි පරීක්ෂණයක්වත් සිදු කිරීමට රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම ඊට පෙර පැවති කිසිදු ආණ්ඩුවක් සමත් වී නැත. එබැවින් කළු ජූලිය මෙන් කළු ජනවාරියද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවදාය මෙන්ම මානව හිමිකම්වල තරම මැනවින් කියාපාන මාසයන්ය. ලංකාවේ ආණ්ඩුකරණය පිළිබදව මෙන්ම ලංකාවේ ජනමාධ්‍ය නිදහසේ තරම මැනවින් කියාපාන මාසයන් ය.

එබැවින් පාලකයන්ගේ ආශීර්වාදය මැද, පොලීසිය බලා සිටිය දී ම්ලේච්ඡ ලෙස මිනිසුන් මරා දැමූ ‛කළු ජූලිය’ මෙන් ‛කළු ජනවාරිය’ ද කළුම කළුය.

IMG_0850

IMG_0831

IMG_0817

VIDEO

එම විරෝධතාවයේදී කියූ සටන් පාඨ කිහිපයක්

ජනවාරිය – ජනවාරිය
කලූම කලූයි – ජනවාරිය
ජනවාරිය – ජනවාරිය
මහින්දලගෙ – මහමාරිය

ජනවාරිය – ජනවාරිය
ලසන්ත මැරු – ජනවාරිය
ජනවාරිය – ජනවාරිය
ප‍්‍රගීත් නැති – ජනවාරිය
ජනවාරිය – ජනවාරිය
කලූම කලූයි – ජනවාරිය
ජනවාරිය – ජනවාරිය
මහින්දලගෙ – මහමාරිය

ලසන්තවත් – මරා දැමුවා
තාරකිවත් – මරා දැමුවා
එක්නැලිගොඩ – පැහැරගත්තා
ශිෂ්‍යයන්ගෙ – ඔලූ පැලූවා
යාපනේදී – හිරකෙරුවා

ගැහුවා ගැහුවා – ගල් ගැහුවා
බැරි අයටත් – වෙඩි තිබ්බා
ආණ්ඩුවට – කීකරු නැති
මාධ්‍යවල – කට වැහුවා
ගැහුව ගැහුවා – මඩ ගැහුවා
එහෙයියන්ව – පත් කෙරුවා

ඇත්ත හොයලා – ලියන එවුන්
තෝර තෝර – පලිගත්තා
ගහලා මරලා – බැරි තැනදී
කොන්ද කඩලා – යටකෙරුවා
කාර් දුන්නා – ණය දුන්නා
අල්ලස්වල – හිරකෙරුවා
නිහඩ නොවන – පෑන්වලට
අවලාදෙන් – බැට දුන්නා

මාධ්‍යයට – බය හින්දා
සීල් තියලා – කට වැහුවා
පිට කැපුවා – අත කැඩුවා
බැරි අයගේ – නම කැපුවා
මුද්‍රණාල – ගිනි තිබ්බා

Full Image Collection

මෙම විරෝධතාවය ලිප්ටන් වටරවුමේ දී සිය විරෝධතාවයෙන් පසුව එතැන් සිට මහජන පුස්තකාලය දක්වා පෙළපාලියකින් පැම්ණ සම්මන්ත්‍රණයක් පැවත් වූ අතර මාධ්‍ය සංවිධාන නියෝජිතයින් මෙන්ම විවිධ සංවිධාන වල නියෝජිතයන් එම සම්මන්ත්‍රණය අමතනු ලැබීය.

@VIKALPA

BLACK January 2013

BJ Pach Tamil

BJ Pach Sinhala

BJ Pach English

BLACK January 2013 | කලු ජනවාරිය 2013

BJ Pach OK 590

ආණ්ඩුව සලිත කළ කළු ජනවාරිය


කළු ජනවාරිය මේ දිනවල ආණ්ඩුව සලිතකළ සිදුවීම විය. ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන එකතුව විසින් කළු ජනවාරිය නමින් සංකේතාත්මකව සමරන්නට යෙදුණේ ජනමාධ්‍යයට එරෙහිව සිදුවූ සිදුවීම්ය. ජනවාරිය ඊට විශේෂ වූයේ ජනමාධ්‍ය මර්දනය සඳහා සිදුකරන ලද බරපතළ සිද්ධීන් ගණනාවක් එම මාසය තුළ පසුගිය වසර කිහිපයේදී සිදුවී තිබීමය. මේ සැමරීම මගින් කියන්නට උත්සාහ කළේ ජනමාධ්‍ය මර්දනය සඳහා සිදුකළ මාධ්‍ය ආයතන ගිනි තැබීම්, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, මාධ්‍යවේදීන්ට පහරදීම් හා මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම් ආදී සියලූම ආකාරයේ සිදුවීම් සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් නිසි පරීක්ෂණයක් සිදුකර නැති බවය. මෙම තත්ත්වය රටේ පොදු ජනයාට නැවත අවධාරණය කිරීමත්, ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් සංදේශයක් බාරදීමත් එහි අරමුණ විය.

නමුත් කළු ජනවාරිය නිසා සලිත වූ ආණ්ඩුව සිදුකළේ සිය මුළු වෙර යොදා කළු ජනවාරිය කඩාකප්පල් කිරීම සඳහා කටයුතු කිරීමය. ඒ සඳහා මුලින්ම යොදාගත්තේ ආණ්ඩුවේ ජනමාධ්‍යය, අයිටීඑන් ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයත්, විමසුම වැඩසටහත්, දිනමිණ හා ඬේලිනිව්ස් පුවත්පත් සිය වෛරී හා අසත්‍ය මඩ ප‍්‍රචාරයත් කළු ජනවාරිය ට එරෙහිව ප‍්‍රචාරය කළේය. ඒවායින් අවධාරණය කැරුණේ කළු ජනවාරිය යනු රටට එරෙහි කුමන්ත‍්‍රණයක් බවය. උද්ඝෝෂණයක් මගින් ආරක්ෂක අංශ ප‍්‍රහාරයකට පෙළඹවීමට උත්සාහ ගන්නා බවය. මෙම උද්ඝෝෂණ සඳහා මුදල්දී මිනිසුන් රැගෙන එන බවය. මේ සියල්ල සඳහා පිටරටින් ඩොලර් ලැබෙන බවය. මේ වෛරී හා අසත්‍ය මඩ ප‍්‍රචාරයන් සඳහා තවදුරටත් ලූණු ඇඹුල් එකතුකරමින් ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ද විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් මගින් ජනවාරි 23 වැනිදා ඔහු යටතේ ඇති ජනමාධ්‍ය ආයතන සිදුකරන ආචාරධර්මික නොවන වෛරී හා අසත්‍ය මඩ ප‍්‍රචාර සාධාරණීකරණය කර තිබුණි.

අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාකරණයේ යෙදෙන වෙබ් මාධ්‍යවලට ආචාරධර්ම හඳුන්වාදිය යුතුයැ යි කියමින්, නීත්‍යනුකූල නොවන ආකාරයට එම මාධ්‍ය අවහිර කරමින්, තහනම් කරමින් සිටින ආණ්ඩුව හා එහි ජනමාධ්‍ය ඇමතිවරයා ආණ්ඩුවේ මාධ්‍යවල මේ හැසිරීම සඳහා කියන්නේ කුමක්දැ යි පැහැදිලි කළ යුතුය. අනුන්ට ආචාර්ධර්ම උගන්වනවාට වඩා ආණ්ඩුවත්, ජනමාධ්‍ය ඇමතිවරයාත් මුලින්ම සිදුකළ යුත්තේ රාජ්‍ය මාධ්‍ය ආයතනවලට ආචාරධර්ම හඳුන්වාදීමය. ඒ අනුව කටයුතු කිරීමට උගැන්වීමය. ඒවා කඩකරන මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට එරෙහිව කටයුතු කිරීමය. ආදර්ශය ඉහළින්ම ආවිට ආණ්ඩුවේ ප‍්‍රවේශය සද්භාවයෙන්යැ යි අපට උපකල්පනය කළ හැකිය. තමන් ඇදේට ඇවිදිමින් අනිත් අයට කෙළින් ඇවිදින්නයැ යි කීමේ පලක් නැත. වෙබ් වාරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතයට උඩගෙඩි දෙන ආණ්ඩුව වෙනුවෙන් නොමිලේ කඬේ යමින් තප්පුලන මාධ්‍ය ඔස්තාර්ලාද මේ සත්‍යය තේරුම් ගත යුතුය.

කළු ජනවාරියට එරෙහි ප‍්‍රචාරයන් සඳහා ආණ්ඩුවේ මාධ්‍ය පුවත්පත් කතුවරුන්ද, මාධ්‍යවේදීන්ද, කොලම් රචකයන්ද යොදාගෙන තිබුණි. ඔවුන් ඒ පිළිබඳව පළකර තිබූ අදහස් ගැන සාකච්ඡාව පසුවට තැබූ විට ආණ්ඩුව කළු ජනවාරිය කඩාකප්පල් කිරීම සඳහා ඊළඟට යොදාගත්තේ පොලීසියය. ජනවාරි 24 වැනිදා කොටුව පොලීසිය කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ප‍්‍රකාශ කළේ කළු ජනවාරිය නම් විරෝධතා ව්‍යාපාරයක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ජනවාරි 25 වැනිදා පැවැත්වීමට නියමිත බවත්, එමගින් මහජන කටයුතුවලට බාධා වුවහොත් පොලීසිය අවශ්‍ය පියවර ගන්නා බවත්ය. එහි වැඩිදුර වාර්තාවක් ජනවාරි 25 වැනිදා මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලීසිය පැවසුවේ නිදහසේ වේදිකාව නම්වූ සංවිධානයත් මේ උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වන්නට යන බවත්, ඔවුන් පෙළපාළියකින් ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ අරලිගහ මන්දිරයට යෑමට සූදානම් බවත්, එම කටයුතු වැළැක්වීමට නියෝගයක් ලබාදෙන ලෙසත්ය. ඒ අනුව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය වූයේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ග අවහිර වන සේ උද්ඝෝෂණය කිරීමත්, මාර්ග අවහිර කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට හෝ අරලියගහ මන්දිරය දෙසට ගමන් කිරීමත් තහනම් බවය. එය කඩකළහොත් ඊට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව පොලීසියට ලබාදෙන බවය. නියෝගය නිකුත් වූයේ බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, සුනිල් ජයසේකර හා ධර්මසිරි ලංකාපේලි යන අයට එරෙහිවය. ඇත්ත වශයෙන්ම නිදහසේ වේදිකා සංවිධානයේ හෝ එහි ක‍්‍රියාකාරී බි‍්‍රටෝ ප‍්‍රනාන්දුගේ සම්බන්ධයක් කළු ජනවාරිය සංවිධානය කිරීම සඳහා තිබුණේ නැත. කළු ජනවාරිය සංවිධානය කරනු ලැබූයේ මාධ්‍ය සංවිධාන හතක් එකතුවීය. ආණ්ඩුව ඒ බව නොදන්නවා නොවේය. එහෙත් ආණ්ඩුව උපක‍්‍රමිකව සිදුකළේ ජනමාධ්‍ය විරෝධතාවක් නැවැත්වීම සඳහා ඔවුන් අධිකරණයෙන් නියෝගයක් ලබාගත්තේ යන අපවාදයෙන් ගැලවීම සඳහා ඊට වෙනත් පිරිසක්ද ඈඳමින් කටයුතු කිරීමය. ඒ අනුව ආණ්ඩුව අධිකරණ නියෝගයක් මගින් නවත්වන්නට උත්සාහ කර ඇත්තේ ජනවාරි 25 වැනිදා කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වීම සඳහා සූදානම් කර නොතිබුණු වෙනත් උද්ඝෝෂණයක්ය. එය මාධ්‍ය සංවිධාන සංවිධානය කළ කළු ජනවාරිය නොවේය යන්න ආණ්ඩුවට කිවහැකිය. මෙවැනි බාලාංශ වැඩවලට ආණ්ඩුව අතිදක්ෂය.

මේ දිනවල ආණ්ඩුව ඊටත් වඩා අතිදක්ෂ ලෙස සිදුකරන්නේ ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ කඩාකප්පල් කිරීම සඳහා පාතාල ගණයේ මැරයන් මහපාරට ගෙන ඒමය. කොටුව දුම්රියපොළ ඉදිරිපිට කළු ජනවාරියේ උද්ඝෝෂණය කඩාකප්පල් කිරීම සඳහාද ආණ්ඩුව මේ දෙයම කර තිබුණි. රාජ්‍ය මාධය ආයතනවල දේශපාලන හෙංචයියන්ද, වරාය අධිකාරිය ඛනිජ තෙල් සංස්ථාව ආදී රාජ්‍ය ආයතනවල දේශපාලන හෙංචයියන්ද, ස්වයංරැ කියා නියුක්තිකයන්ගේ සම්මේලනය නමැති පදික වෙළෙඳුන්ද කැඳවා තිබුණි. ඔවුන් මාධ්‍ය සංවිධානවල විරෝධතාවයේ අවකාශ අවුරමින් හා මාර්ග බදුගනිමින් පෙළපාළි ගියේ කාගෙද මේ බලවේගේ, ජනපතිඳුගේ බලවේගේයැ යි කියමින්ය. විරෝධය එල්ල කරනු ලැබූයේ මාධ්‍ය සංවිධානවලට හා මාධ්‍යවේදීන්ටය. අධිකරණයට කරුණු වාර්තා කරමින් මහජන හිරිහැර වැළැක්වීම සඳහා නියෝග ඉල්ලූ නීතිය සැමයට සාධාරණ කොන්ද ඒ අවස්ථාවේ වකුටු වී මුහුණ දෙකකුල් අස්සේ ඔබාගෙන සිටියේය. මාර්ග වසා පෙළපාළි යන්නන්ට ආරක්ෂාව මේ රාජපාක්ෂික පොලීසිය සපයමින් සිටියේය. ගැටුමකට බලෙන් යෑමට අකමැති වූ මාධ්‍ය සංවිධාන කළු ජනවාරිය නම් වූ සිය විරෝධතාව ලිප්ටන් වටරවුම කරා ගෙන ගොස් පවත්වන්නට යෙදුණි.

මාධ්‍ය සංවිධානවලට කළු ජනවාරියක් අවශ්‍ය වූයේ ඇයි?

සැබැවින්ම ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යයට එරෙහිව සිදුවූ අපරාධ සම්බන්ධයෙන් පිළිගත හැකි ආකාරයේ කිසිදු පරීක්ෂණයක් මෙතෙක් සිදුකර නැත. ජනමාධ්‍ය ඇමතිවරයාගේ සහ කළු ජනවාරියට එරෙහිව ආණ්ඩුවේ මතය වෙනුවෙන් පෙනී සිටි ජනමාධ්‍ය කර්තෘවරුන්ගේ හා ජනමාධ්‍යවේදීන්ගේ දැනගැනීම සඳහා ඒවාහි ජනවාරි මාසයේ සිදුවීම් කිහිපයක් මෙසේ පෙළගැස්සවිය හැකිය. උදයන් පුවත්පතේ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් වාර්තාකරු එස්. සුගීර් ධරාන්ව වෙඩි තබා ඝාතනය කිරීම, ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිෂ්පාදවරයකු වූ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේට තියුණු ආයුධවලින් ප‍්‍රහාර එල්ල කිරීම, තිනකරන් පුවත්පතේ සහාය කර්තෘ සුහීබ් එම්. කසීම්ට එල්ල වූ කිනිසි ප‍්‍රහාරය, සිරස මැදිරි සංකීර්ණයට එල්ල කළ ප‍්‍රහාරය, සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීම, රිවිර පුවත්පතේ කර්තෘ උපාලි තෙන්නකෝන්ට එල්ල කළ සන්නද්ධ ප‍්‍රහාරය, ජනමාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම, ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිනි තැබීම, ඊට අයත්ය. මීට අමතරව ජනමාධ්‍යවේදී පෝද්දල ජයන්තව පැහැරගෙන ගොස් දරුණු වධහිංසා සිදුකර පහරදීම ආදී වෙනත් මාධ්‍යවල අනන්තවත් ඝාතනය කිරීම්, පහරදීම්, බියවැද්දීම් ආදී ජනමාධ්‍යයට එරෙහි සිදුවීම් ඇත. දඬුවම් ලබාදීම තබා මේ කිසිදු සිදුවීමක සැබෑ සැකකරුවෙක් හෝ තවම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා බුද්ධි අංශ හෝ විමර්ශන අංශ සමත් වී නැත.

ආණ්ඩුවේ මාධ්‍යවලට ගොඩවී ආණ්ඩුවේ න්‍යාය පත‍්‍රය වෙනුවෙන් නොමිලේ හෝ අප නොදන්නා වරප‍්‍රසාදයන් වෙනුවෙන් තප්පුලන මාධ්‍ය සගයිනි (එසේ කීමද ලැජ්ජාසහගතය.) ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ජනමාධ්‍යයට එරෙහි සිදුවීම්වල පමණක් සැබෑ සැකකරුවන් අත්අඩංගුවට ගන්නට අසමත්වීම ඔබ දකින්නේ කෙසේද? ඇත්තටම ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ අසමත්ද? නැතිනම් ජනමාධ්‍යයට එරෙහි සිදුවීම්වලට පමණක් අසමත්ද? එය එසේ වේ නම් ඊට හේතුව කුමක්ද? ආණ්ඩුව වෙනුවෙන් තප්පුලන මහත්වරුන් කියන්නේ යුද්ධයක් පවතින විට මානව හිමිකම් කඩවීම් සිදුවිය හැකි බවය. ඝාතන සිදුවිය හැකි බවය. යුද්ධයකට ඍජු සම්බන්ධයක් නැති සිවිල් පුද්ගලයන්ද එම කාලයේදී ඝාතනය වූ බවය. එනයින් මේ තප්පුලන මහත්වරුන් වක‍්‍රාකාරයෙන් කියන්නේ ජනමාධ්‍යයට එරෙහි සිදුවීම් ආණ්ඩුව හෝ ආණ්ඩුවේ අණ ලැබූවන් විසින් සිදුකළ බවද? ඒ නිසාම එම සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ අනවශ්‍ය බවද? තප්පුලන මහත්වරුනි, වැඩිමනත් අවශ්‍ය නැත. ජනවාරි 25 දින කළු ජනවාරිය සැමරීමට එරෙහිව වෛරී මාධ්‍ය භාවිතාවක යෙදෙමින්, අධිකරණ නියෝග ලබාගනිමින් හා ආණ්ඩුවේ මැරයන් මහපාරට බස්සවමින් සිදුකළ බාධාව මාධ්‍ය නිදහසද?

ජනපති, ආරක්ෂක ලේකම් හා ජනමාධ්‍ය ඇමතිගේ ලිට්මස් පරීක්ෂාව සඳහායි

ජනමාධ්‍යයට එරෙහිව සිදුවන සිදුවීම්වලදී ආණ්ඩුව සිය නිදහසට කරුණු වශයෙන් ප‍්‍රකාශ කරන්නේ පරීක්ෂණ සඳහා අවශ්‍ය ප‍්‍රමාණවත් සාක්ෂි නැති බවය. අපරාධකරුවන් සෑම අපරාධයක්ම ඇසින් දුටු සාක්ෂි ඉදිරියේ සිදුකරන්නේ නැත. එසේ වුවද ජනමාධ්‍යයට එරෙහි අපරාධවලට අමතරව සිදුවන අපරාධවලදී ඒවාහී සැබෑ සැකකරුවන්ව ඇසින් දුටු සාක්ෂි නොමැතිව පැය ගණනක් ඇතුළතදී හෝ දින ගණනාවකදී අත්අඩංගුවට ගැනීමට ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සමත්ය. අභිරහස්ව සිදුවන මිනීමැරුමක් නම් ඒවා අපරාධකරුවන් හඳුනාගන්නේ ඝාතනයට ලක්වූ පුද්ගලයා නැගිට සාක්ෂි ලබාදීමෙන් නොවේය. ආණ්ඩුවේ මේ නියාය අනුව ඝාතනයට ලක්වූ සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග නැගිට ඔහුව ඝාතනය කළේ කවුදැයි සාක්ෂි ලබාදිය යුතුය.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේත්, ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේත් ලිට්මස් පරීක්ෂාව සඳහා අවශ්‍යනම් ජනමාධ්‍යවේදියකුට එරෙහිව මෑතකදී එල්ලවූ තර්ජනයක් පිළිබඳව සාක්ෂි සහිත විස්තර අපට ඉදිරිපත් කළ හැකිය.

මාධ්‍යවේදියා ලංකා ඊනිව්ස් වෙබ් අඩවියේ හා මව්බිම පුවත්පතේ සේවය කළ ආණ්ඩුවේ තර්ජන නිසා ඉවත්වන්නැයි මව්බිම පාලනාධිකාරිය දැනුම් දුන්, ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍රකලාවේදීන්ගේ සංගමයේ විධායක සභික ශාන්ත විජේසූරියය.

හමුදා බුද්ධි අංශයේ යැයි කියා ගන්නා පිරිසක් ඔහුට දුරකථන ඇමතුම් ලබාදෙමින් විවිධ ආකාරයේ තර්ජනය කිරීම් සිදුකරන බවත් ඔහුගේ නිවසට හා ඥාති නිවෙස්වලට පැමිණි විවිධ තර්ජනය කිරීම් සිදුකරන බවටත් 2011 ඔක්තෝබර් 25 දින CIB IF 285/64 යටතේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එම පැමිණිල්ල ඉදිරිපත්කිරීම සඳහා මාධ්‍ය සංවිධාන නියෝජිතයන්ද එදින ගියේය. මේ පැමිණිල්ලම පිළියන්දල පොලීසියටද ඉදිරිපත් කළේය.

එම පැමිණිලිවලදී ඔහු ඔහුට හමුදා බුද්ධි අංශයේ යැයි කියා බලපෑම් කළ දුරකථන අංක තුනක් ලබාදුන්නේය. එම අංක වන්නේ 0664917604 ,           0714945856, 0778480669 ය. ඊට අමතරව රොස්මිඞ් පෙදෙසේ මව්බිම පුවත්පත් කාර්යාලය අසලට PB 9654 දරණ සුදුවෑන් රථයෙන් එම හමුදා බුද්ධි අංශයේ යැයි කියාගත් පිරිස පැමිණි බවද සඳහන් කළේය.

පැමිණිල්ල ඉදිරිපත්කර ජනවාරි 25 දිනට මාස තුනක් ඉකුත්වීය. කරන ලද පරීක්ෂණයක් පිළිබඳව කිසිවක් ඔහුට මේ වනතුරු දැනුම් දී නැත. කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන හෝ නැත.

මෙතරම් සාක්ෂි තිබෙන ජනමාධ්‍යයට එරෙහි මෙම පැමිණිල්ලවත් ඉදිරියට නොයන්නේ ඇයි? මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට තර්ජනය කරන ලද පිරිස ආණ්ඩුවේ අනුදැනුම ඇතිව එම බිය ගැන්වීම හා තර්ජනය කිරීම් කරන පිරිසක් වීම නිසාද?

ලසන්ත රුහුණගේ
උපුටා ගැනිම – රාවය පුවත්පත

‛යටත් නොවී ලියලා කියලා මඟ මැරුනත් අපට සැපයි’’ ආණ්ඩුවේ මර්දන නීතී හමුවේ ‛කළු ජනවාරිය’ විරෝධය ලිප්ටන් වටරවුමේ දී

January 25, 2012 by http://www.vikalpa.org

කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතව තිබූ ‛කඑ ජනවාරිය’ විරෝධතාවය ආණ්ඩුවේ මර්දන නීති සහ අවිචාරවත් කටයුතු හේතුවෙන් අද(25) සවස 3ට ලිප්ටන් වටරවුමේදී පැවැත් විය.

කොටුව දුම්රියපොල ඉදිරිපට පැවැත්වීමට නියමිතව තිබූ ‛කඑ ජනවාරිය’ විරෝධතාවය ට පසුගිය දින කිහිපයේම විවිධ අයුරින් තර්ජන එල්ල විය. කෙසේ නමුත් ඊයේ වන විට එම විරෝධය නතර කිරීම සඳහා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට උත්සහ කල බව වාර්තා වූ අතර අද එයට අධිකරණය විසින් කොන්දේසි පනවා පැවැත්වීමට අවසර දී තිබිනි. නමුත් එම වාරණ නියෝගය කිසිසේත්ම ‛කඑ ජනවාරි’ විරෝධය හා බැදී ඇතැයි යන්න ව්‍යාකූල බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර පැවසී ය. ඔහු වැඩිදුරටත් පැවසූවේ..‛‛ආණ්ඩුව තමන්ගේ පොලීසිය යොදවලා අධිකරණය නොමඟ යවලා තමයි ඒ වාරණ නියෝගය අරගෙන තිබෙන්නේ. අපි ඉතාම පැහැදිලිවම ප්‍රකාශ කලා මේ විරෝධය මෙහෙයවන්නේ ජනමාධ්‍ය සංවිධාන එකතුව කියලා. අපි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලා අපියි මේ විරෝධය මෙහෙයවන්නේ කියලා. නමුත් පොලීසිය අධිකරණය හමුවට ගොස් වෙනත් සංවිධානයක නමක් උපයෝගී කරගෙන තමයි මේ විරෝධය මර්ධනය කරන්න අධිකරණ නියෝගය ලබා ගත්තේ. ඒ නිසා මේ රටේ ජනතාව දැනගතයුතු වෙනවා මේ රටේ ආණ්ඩුවයි, පොලීසියයි මේ රටේ අධිකරණයත් නොමඟ යවලා තිබෙන බව. ඒ නිසා අද උසාවියත් නොමඟ යවලා පාවිච්චි කරන රටක් බවට මේ රට පත් වෙලා තිබෙනවා.’’

මෙම විරෝධය ජනමාධ්‍ය සංවිධාන සංවිධාන කරනු ලැබූවේ විශේෂයෙන් පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල වූ මර්දනයට එරෙහිවත් විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදහන් කිරීම් වලට ලක් වූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කර වගකිව යුත්තන්ට දඬුවම් ලබා දීමට ආණ්ඩුව ක්‍රියා නොකිරීම පිළිබදව විරෝධ්‍ය පළ කිරීම සඳහා ය. එහිදී පසුගිය වසර 03ක කාලය තුළදී ජනවාරි මාසය තුළ සිදු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සිරස මාධ්‍ය ආයතනයට එල්ල වූ ප්‍රහාරය මෙන්ම මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කිරීම වැනි බරපතල කරුණු සලකා අදාල විරෝධතාවය ‛කඑ ජනවාරිය’ ලෙස නම් කිරීමට තීරණය කරන ලැබූ බවත් පසුගිය දා ජනමාධ්‍ය සංවිධාන ප්‍රකාශ කළේ ය.

කොටුවේ වෙනත් විරෝධයක්

ජනමාධ්‍ය සංවිධාන විසින් ‛කඑ ජනවාරිය’ විරෝධතාවය පවැත්වීමට තිරණය කර තිබූ කොටුව දුමිරියපොල ඉදිරිපිට සවස 2ක පමණ වන විට කිසියම් පිරිසක් විරෝධතාවයක් පැවත් වීය. එහීදී ඔවුන් එම ප්‍රදේශය පුරාම ඔවුන් සැරිසරමින් සිටි අතර ඒ කණ්ඩායම තුළ රජයට අයත් ජනමාධ්‍ය ආයතනවල සේවකයන් සහ මාධ්‍යවේදීන් ද සිටි බවට වාර්තා විය.

නීතිය කෝ?

කොටුව දුම්රියපොල ඉදිරිපිට පැවැත්වූ ‛කඑ ජනවාරිය’ විරෝධයට, විරෝධය දැක්වෙන ලෙස හැගෙන විරෝධය අසල පොලිස් නිළධාරීන් විශාල ප්‍රමාණයක් සිටියත් ඔවුන් නිහඬව සිටි අතර, මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ලිප්ටන් වටරවුමේ දී පැවැත්වූ විරෝධය අසළ කිහිප තැනක පොලු අතින් ගත් පොලිස් හමුදාවක් සැගවී මෙන් සිටින බව දක්නට ලැබූ අතර පිත්තල හංදිය සහ ඒ අවට ජල ප්‍රහාරක සහ පොලීසියේ විශාල පිරිසක් රඳවා සිටිනු දක්නට ලැබිනි.

ලිප්ටන් වටරවුමේ දී පැවැත්වූ කලු ජනවාරිය විරෝධතාවයට එය සංවිධානය කළ මාධ්‍ය සංවිධාන එකතුවේ,
Sri Lanka Working Journalist Association (SLWJA), Federation of Media Employers Trade Union (FMETU) Sri Lanka Muslim Media Fedaration (SLMMF), Sri Lanka Tamil Journalist Alliance (SLTJA),South Asian Free Media Association (SAFMA – Sri Lanka)
Media Movement for Democracy (MMD), Free Media Movement (FMM) ඇතුලු සංවිධාන සහ දේශපාලන පක්ෂ නියෝජිකයින්ද සහභාගී සිටියේ ය.

උපුටාගැනීම- http://www.vikalpa.org

 

‘Black January’ Campaign Against Attacks on Journalists in Sri Lanka

Posted on January 25, 2012 – by IFJ
25 January 2012
The International Federation of Journalists (IFJ) has joined the ‘Black January’ campaign against attacks on journalists in Sri Lanka, organized by the Alliance of Media Organizations.

 The month of January 2012, has been nominated as ‘Black January’ in Sri Lanka, by the Alliance of Media Organizations and its supporters in the national and international communities.

The campaign is a response to the attacks on the media that have occurred in the month of January in the past three years, and the failure of the government of Sri Lanka to bring to account those responsible for attacks on numerous journalists.

These attacks include the murder of Sunday Leader editor, Lasantha Wickrematunga in 2009, the disappearance of political columnist Prageeth Ekneligoda in 2010, the attack on Sirasa media network in 2009 and the brutal attack on television producer Lal Hemantha Mawalage in 2008.

In recent years, the month of January has also witnessed the murder of Tamil parliamentarian T Maheshwaran, the abduction of Akuna journalists Sisira Priyankara, Nihal Serasinghe and Lalith Seneviratne and the former army commander Sarath Fonseka’s characterisation of certain journalist as “traitors”.

On January 25, journalists and media workers all over the world will unite in observance of ‘Black January’, culminating in a series of public protests in Sri Lanka’s capital, Colombo.

The IFJ, in solidarity with the Free Media Movement and the South Asia Media Solidarity Network (SAMSN) join our colleagues in Sri Lanka, in urging the Government of Sri Lanka to conduct proper investigations into these serious attacks on the media.

The IFJ reminds the Government of Sri Lanka of its deeply disturbing record of default in bringing to account individuals, state agencies and non-state actors who increasingly make journalism and the dissemination of information for the wider public good, a deeply hazardous pursuit.

“The violence against journalists in Sri Lanka and the continuing disregard by the government of Sri Lanka in addressing these crimes is unacceptable”, IFJ Asia-Pacific Director Jacqueline Park said.

“The IFJ urges concrete action by authorities in Sri Lanka to take heed of today’s ‘Black January’ protests and address acts of violence against journalists and media workers”

For further information contact IFJ Asia-Pacific on +612 9333 0950

 

The IFJ represents more than 600,000 journalists in 131 countries

 

Find the IFJ on Twitter: @ifjasiapacific

 

Find the IFJ on Facebook: www.facebook.com/IFJAsiaPacific

‘Black January’ poster campaign launched (Photos)

Organized by Alliance of Media Organaization

මෙම ඡායාරෑප විශාල කර නැරඹීම සදහා ඒ මත ක්ලික් කරන්න

බිහිසුණු ජනවාරිය – 2006 – 2012 සටහන්

2006:

ජනවාරි 01: සිරස මාධ්‍ය ආයතනයේ හිමිකරු ඝාතනයට සැළැස්මක් ඇතැයි සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග විසින් හෙළිදරව් කිරීම.

ජනවාරි 05: වීරකේසරී පුවත්පතෙහි ජායරුප ශිල්පි ජෝ ජෙයකුමාර් පුවත් පතෙහි පළ වූ ජායාරූප සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් ප්‍රශ්ණ කරනු ලැබීම.

ජනවාරි 05: යාපනයේ යාල් තිනක්කූරල් පුවත්පත් කාර්යාලය යුද හමුදාව විසින් වටලා සෝදිසි කිරීම.

ජනවාරි 12: ජනාධිපති රාජපක්ෂ දුරකථනයෙන් කතා කොට සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගට දරුණු ලෙස බැණ වැදීම. ඉන් තෙවසරකට දින හතරක් තිබිය දී පසු ලසන්ත ඝාතනය කෙරුණි.

2007:

ජනවාරි 09: එස්.බී. දිසානායකගේ නායකත්වය යටතේ නුගේගොඩ දී පැවැත්වීමට නියමිත වූ එක්සත් ජනතා සංධානයේ මංගල රැලිය අමාත්‍ය මර්වින් සිල්වා විසින් නායකත්වය දුන් පිරිසක් විසින් කඩාකල්ලපල් කිරීම සහ එය වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යවේදී ඥාණසිරි කොත්තිගොඩ සහ අජිත් සෙනවිරත්නට පහර දීම.

ජනවාරි 12: ජනාධිපති රාජපක්ෂ දුරකතයෙන් කතා කොට සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගට දරැණු ලෙස බැණ වැදීම,

ජනවාරි 18: ආදායම් බදු දෙපාර්තමේන්තුවෙහි නිලධාරීන් මව්බිම සහ ද සන්ඩේ ස්ටෑන්ඩර්ඩ් පුවතපත් කාර්‍යාලයට ද එම පුවත්පත් හිමිකරුගේ වෙනත් ව්‍යාපාර දෙකකට ද හදිසියේ පැමිණ ප්‍රශ්න කිරීම සහ පුවත්පත් සඳහා වෙළද දැන්වීම් සපයන ආයතන ලැයිස්තුව රුගෙන යාම. පසුව දිගින් දිගටම එල්ල වූ මර්දනය හමූයේ පුවත්පත් දෙකම වසා දැමීමට සිදු විය.

ජනවාරි 24: ත්‍රි‛මලයේ මාධ්‍යවේදී සුගීර්ධරාජන් වෙඩි තබා ඝාතනය කිරීම, (2007).

2008:

ජනවාරි 01: පාර්ලිමේන්තු මංත්‍රී ටී. මහේශ්වරන් වෙඩි තබා ඝාතනය කිරීම. ඔහු ඝාතනය කරනු ලැබූයේ යාපනයේ කැරෙන ඝාතන පිටුපස සිටින රජයේ සහ අර්ධ මිලිටරි සංවිධාන නුදුරු දිනෙක පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කරන බවට ප්‍රකාශ කොට පැය කිහිපයක් ගත වීමෙන් පසු ය.

ජනවාරි 03: යුද්ධයට ඇති ලොකුම බාධාව අතලොස්සක් වන ද්‍රෝහී ජනමාධ්‍යකරුවන්යැයි එවකට හමුදාපති සරත් ෆොන්සේකා විසින් ප්‍රකාශ කිරීම.

ජනවාරි 05: හිටපු ජනමාධ්‍යවේදියකු වූ ලලිත් සෙනවිරත්න සහ ‛අකුණ’ නම් වෘත්තීය සමිති වාර ප්‍රකාශණයේ මාධ්‍යවේදීන් වූ සිසිර ප්‍රියංකර සහ නිහාල් සේරසිංහ පැහැර ගෙන යාම. එල්ටීටීඊයට සම්බන්ධ යැයි ප්‍රකාශ කොට දරුණු වධ හිංසාවන්ට ලක් කරන ලද ඔවුන්ට එරෙහිව මේ තාක් කිසිදු චෝදනා ගොනු කිරීමක් කර නැත.

ජනවාරි 06: යාපනයේ උදයන් පුවත් පත වසා දමන ලෙසට කරන ලද ආයුධ ගත් දේශපාලන පක්ෂයක් විසින් කළ තර්ජනය. අනතුරුව එම පුවත්පතට එරෙහිව දරුණූ මර්ධනයක් දියත් විය.

ජනවාරි 07: අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසින් ශක්ති රෑපවාහිනී අධ්‍යෂකවරයකු වූ ජනමාධ්‍යවේදී ශ්‍රී රංගා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ ත්‍රස්තවාදියකු යැයි වාචික ප්‍රහාරයක් එල්ල කිරීම. අනතුරුව ශ්‍රී රංගාට දිගින් දිගටම මරණ තර්ජන එල්ල විය.

ජනවාරි 07: ජනමාධ්‍යවේදියකු සහ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් වූ පෝද්දල ජයන්ත මහතාගේ නිවෙසට මහ රැයෙහි සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් පිරිසක් පැමිණීම. මෙම පොලිස් කණ්ඩායම පැමිණ තිබුණේ කිසිදු නිල ක්‍රමයක් අනුගමනය නොකර ය.

ජනවාරි 25: ජනමාධ්‍ය වාරණයක් අත්‍යවශ්‍ය බවත් යුද හමුදාවන් ගැන ලිවීම කිසිසේත්ම අවශ්‍ය නොවන බවත් ආරක්ෂ ලේකම් රාජපක්ෂ පුවත්පතකට ප්‍රකාශ කිරීම. ඉන් අනතුරුව යුද මෙහෙයුම් සම්බන්ධයෙන් විවේචනාත්මක වාර්තා සැපයූ ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට දරුණූ මරණිය ප්‍රහාරයන් එල්ල විය.

ජනවාරි 25: ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිශ්පාදකකවරයකු වූ ජනමාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ රාත්‍රි සිය නිවස බලායන අතරතුර ඔහුට දී තියුණු ආයුධයකින් පහර දීම, (2008). මෙම ප්‍රහාරයෙන් ඔහුගේ දකුණු අත දරුණූ ලෙස කැපී ගිය අතර ශල්‍ය කර්මයකට ද භාජනය කරන ලදී. මෙම සිදුවීම අමාත්‍ය මර්වින් ද සිල්වා 2007 දෙසැම්බර් 27 දින රෑපවාහිනී සංස්ථාවට කඩා වැදීම ඊට එරෙහිව එහි ජනමාධ්‍ය ප්‍රජාව දැක්වූ විරුද්ධත්වයට කරන ලද පළිගැනීමක් වශයෙන් සළකනු ලැබේ.

ජනවාරි 28: තිනකරන් දිනපතා පුවත් පතෙහි සහාය කර්තෘ සුහීබ් එම්. කසීම්ට එල්ල වූ කිණිසි ප්‍රහාරය. මෙම ප්‍රහාරයට පෙර ලේක්හවුස් සභාපති විසින් සුහීබ් දැරූ තනතුරෙන් මාරුකර යවා තිබූ අතර ප්‍රහාරය ඊට සම්බන්ධ යැයි සැළකේ.

ජනවාරි 29: ශ්‍රී ලංකා රෑපවාහිනී සංස්ථාවේ මාධ්‍ය සේවක දුලීප් දුෂ්‍යන්ත ඝාතනය කිරීමේ අරමුණින් පිස්තෝලකරුවන් දෙදෙනෙකු රාත්‍රියෙහි ඔහුගේ නිවසට කඩා වැදීම. මෙම සිදුවීම අමාත්‍ය මර්වින් ද සිල්වා 2007 දෙසැම්බර් 27 දින රෑපවාහිනී සංස්ථාවට කඩා වැදීම ඊට එරෙහිව එහි ජනමාධ්‍ය ප්‍රජාව දැක්වූ විරුද්ධත්වයට කරන ලද පළිගැනීමක් වශයෙන් සළකනු ලැබේ.

2009:

ජනවාරි 02: සිරස මැදිරි සංකීර්ණයට එල්ල වූ ගිනි බෝම්බ ප්‍රහාරය.

ජනවාරි 06: සිරස මැදිරි සංකීර්ණයට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරය. මෙම ප්‍රහාරය ඇතුළේ වැඩක් යැයි ආරක්ෂ ලේකම්වරයා විසින් පරීක්ෂණ ආරම්භවීමටත් පෙරම ප්‍රකාශ කළ අතර ප්‍රහාරයට සම්බන්ධයැයි අත්අඩංගුවට ගත් එජාප ප්‍රදේශීය නායකයකු පසුව නිදහස් කරන ලදී. මෙම ප්‍රහාරයේදී එම රෑපවාහිනී සහ ගුවන් විදුලි ජාලයේ මෙහෙයුම් මූලස්ථානය විනාශ විය.

ජනවාරි 08: සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම.

ජනවාරි 22: ප්‍රකාශ් ශක්ති පිල්ලෙයි නම් එල්ටීටීඊයට සම්බන්ධ ජනමාධ්‍යවේදියකු ගුවන් තොටුපළෙහි දී අත් අඩංගුවට ගැනීම. එල්ටීටීඊ කාර්‍යධරයකු වන ඔහුට ව්‍යාජ මාධ්‍ය හැදුනුම් පතක් ලබා දී තිබුණේ මා විසින්යැයි ජනාධිපතිවරයා පුවත්පත් හිමිකරු රුස්වීමක දී කීවේ ය. ත්‍රස්ත විමර්ෂන අංශයේ රඳවාගෙන ඔහු පිළිබඳ කළ සොයා බැලීම් වලින් එල්ටීටීඊ ය සමඟ ඔහුට සබඳතා ඇතැයි සොයා ගැනුනේ නැත. ඔහු අත් අඩංගුවට ගෙන තිබුණේ ඔහුම සකසා ගත් ව්‍යාජ ජනමාධ්‍ය හැඳුනුම් පතක් තිබූ නිසා ය. ඔහුට සිදු වූයේ කුමක්දැයි අප කිසිවකු දන්නේ නැත.

ජනවාරි 24: රිවිර පුවත්පතෙහි කර්තෘ උපාලි තෙන්නකෝන් ඝාතනය කිරීමේ අරමුණින් එල්ල වූ සන්නද්ධ ප්‍රහාරය. සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා නොකළ බව ජනමාධ්‍යට ප්‍රකාශ කළ ඔහු පසුව රට හැර ගියේ ය.

2010:

ජනවාරි 01: සිරස රැපවාහිනී ජාලයේ ශක්ති නාලිකාවේ යාපනය විකාශණ තරංග රජයේ අයිටීඑන් නාලිකාව විසින් අත්පත් කර ගැනීම

ජනවාරි 13: සන්ඩේ ලීඩර් පුවත්පත් කාර්යාලය පොලීසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක් කිරීම

ජනවාරි 24: ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම. ඔහු ස්ව කැමැත්තෙන් සැඟව සිටින්නේ යැයි රාජ්‍ය ගැති ප්‍රචාරකයින් දැවැන්ත ව්‍යාපාරයක් දියත් කළේ ඔහුගේ අතුරුදහන්වීම පිළිබඳ පරීක්ෂණ නොමඟ යැවීමට හෝ නතර කිරීමට ය.

ජනවාරි 28: ලංකා පුවත්පතෙහි කර්තෘ චන්දන සිරමල්වත්ත අත් අඩංගුවට ගැනීම. කිසිදු චෝදනාවක් නැතිව පෙබරවාරි 16දා ඔහු නිදහස් කරන ලදී.

ජනවාරි 28: නිදහස නිව්ස් නම් ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන් වෙබ් අඩවිය වාරණය කිරීම

ජනවාරි 28: රැපවාහිනී සංස්ථාවේ වැඩසටහන් නිශ්පාදක රවි අබේවික්‍රමට එහි සභාපතිවරයා විසින් පහර දීම. ඉට හේතුව වූයේ සමබර මැතිවරණ වාර්තාකරණයක් ගෙන යන ලෙස මාධ්‍ය පිරිස් කරන ලද උද්ඝෝෂණය යි.

ජනවාරි 29: ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන්නේ යැයි සිරස මාධ්‍ය ජාලයේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට තීරණය කිරීම. නමුත් පසුව එම තීරණය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කරන ලදී.

ජනවාරි 29: ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්‍යාලය මැරවර පිරිස් විසින් වැටලීම

ජනවාරි 29: ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන් ජවිපෙට සම්බන්ධ ලංකා පුවත් පත් කාර්‍යාලයට සීල් තැබීම.

2011

ජනවාරි 31: ලංකා ඊ නිව්ස් කාර්යාලයට කිසියම් පිරිසක් විසින් අද (31) අලුයම 1.30 ට පමණ ගිනි තබා එහි සියලු දේපල විනාශ කිරීම. – මාළබේ, දහම් මාවතේ පවත්වාගෙන ගිය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්යාලයට ජනවාරි 31 අලුයම 1.30ට පමණ කිසියම් පිරිසක් විසින් එම කාර්්‍යාලයට ගිනි තබා එහි තිබු විද්‍යුත් උපකරණ සහ සියලු ලිපිලේඛන සහ පොත් පත් විනාශ කර ඇත.

2012

ජනවාරි 07: යාපනයේ නිදහස් ජනමාධ්‍ය වේදියෙකු අහේතුකව පොලිස් පරීක්ෂනයකට කැදවීම සහ තමා ගැන ලියන බ්ලොග් කරැවන් ගැන සොයා බලන ලෙස දිසාපතිනිය පොලීසියෙන් ඉල්ලා සිටීම.

ජනවාරි 09: ශ්‍රී ලංකාවේ තහනම් කරන ලද දැන් එක්සත් රාජධානියේ සිට ක්‍රියාත්මක වන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට දරැණු හැකර් ප්‍රහාරයක් එල්ල වීම.

ජනවාරි 11: යුරෝපා කොමිසමෙන්  ශ්‍රී ලංකාවට ලබා දී තිබූ GSP+ සහනය අහෝසිකරන සේ පෙත්සම් යැවී යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට රාජ්‍ය මාධ්‍ය විසින් චෝදනා කිරීම සහ තර්ජනාත්මක පුවත් පළ කිරීම.

ජනවාරි 12: එක්සත් ජාජධානීයේ සිට ක්‍රියාත්මක වන ලංකා නිව්ස් වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල වීම.

ජනවාරි 17: බලහත්කාර අතුරැදහන් කිරීම් විරෝධී, සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීම සදහා යාපනය බලා යමිනි සිටි ජනමාධ්‍ය වේදීන් ඇතුලු දහසක පමණ පිරිසක් යුද හමුදාව විසින් නතර කර ඔවුන්ගේ ගමන වැලැක්වීමට උත්සහ කිරීම.

ජනවාරි 16

මව්බිම පුවත්පතේ කතරගම වාර්තාකරැට, කතරගම ප්‍රාදේශීය සභා මංත්‍රී ප්‍රියන්ත ඒකනායක විසින් පහරදීම.

ශ්‍රී ලංකාණ්ඩුව විසින් යුද්දයට සමගාමීව දියත් කළ ජනමාධ්‍ය නිදහසට විරැද්ධව දියත් කළ සහ කරමින් සිටින යුද්දය අවසන් කරන ලෙස අන්තර්ජාතික මානව හිමිකම් සහ ජනමාධ්‍ය සංවිධාන විසින් නැවත නැවතත් කරන ලද ආයාචනයන්ට මෙතෙක් සාධනීය ප්‍රතිචාර ලැබී නැත.

එසේම ඉහත දැක්වූ එකදු සිදුවීමක හෝ වැරදිකරැවන් සොයා දඩුවම් පමුණුවා නැත. ඒ ශ්‍රී ලංකා රාජ්‍යෙය් මුල් බැස ඇති දුර්විපාක නොලැබීමේ සංස්කෘතිය විසින් ජනමාධ්‍ය නිදහසට තර්ජනය කරන්නවුන් ආරක්ෂා කරනවා පමණක් නොව පෝෂණය ද කිරීම නිසාවෙනි. එහි විපාකය වී ඇත්තේ ලංකාවේ ජනමාධ්‍ය විසින් අතිශය හානිදායක ස්වයංවාරණයක් පවත්වා ගෙන යාමය. එමනිසා නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පදනම වන දැනුවත් පුරවැසියා ගොඩනැගීමට ජනමාධ්‍ය හි දායකත්වය ඇත්තේ ඉතාමත් පහළ ය.

තවදුරටත් කියවීමට – බිහිසුනු ජනවිරිය  – Black January