ආණ්ඩුව සලිත කළ කළු ජනවාරිය


කළු ජනවාරිය මේ දිනවල ආණ්ඩුව සලිතකළ සිදුවීම විය. ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන එකතුව විසින් කළු ජනවාරිය නමින් සංකේතාත්මකව සමරන්නට යෙදුණේ ජනමාධ්‍යයට එරෙහිව සිදුවූ සිදුවීම්ය. ජනවාරිය ඊට විශේෂ වූයේ ජනමාධ්‍ය මර්දනය සඳහා සිදුකරන ලද බරපතළ සිද්ධීන් ගණනාවක් එම මාසය තුළ පසුගිය වසර කිහිපයේදී සිදුවී තිබීමය. මේ සැමරීම මගින් කියන්නට උත්සාහ කළේ ජනමාධ්‍ය මර්දනය සඳහා සිදුකළ මාධ්‍ය ආයතන ගිනි තැබීම්, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, මාධ්‍යවේදීන්ට පහරදීම් හා මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම් ආදී සියලූම ආකාරයේ සිදුවීම් සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් නිසි පරීක්ෂණයක් සිදුකර නැති බවය. මෙම තත්ත්වය රටේ පොදු ජනයාට නැවත අවධාරණය කිරීමත්, ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් සංදේශයක් බාරදීමත් එහි අරමුණ විය.

නමුත් කළු ජනවාරිය නිසා සලිත වූ ආණ්ඩුව සිදුකළේ සිය මුළු වෙර යොදා කළු ජනවාරිය කඩාකප්පල් කිරීම සඳහා කටයුතු කිරීමය. ඒ සඳහා මුලින්ම යොදාගත්තේ ආණ්ඩුවේ ජනමාධ්‍යය, අයිටීඑන් ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයත්, විමසුම වැඩසටහත්, දිනමිණ හා ඬේලිනිව්ස් පුවත්පත් සිය වෛරී හා අසත්‍ය මඩ ප‍්‍රචාරයත් කළු ජනවාරිය ට එරෙහිව ප‍්‍රචාරය කළේය. ඒවායින් අවධාරණය කැරුණේ කළු ජනවාරිය යනු රටට එරෙහි කුමන්ත‍්‍රණයක් බවය. උද්ඝෝෂණයක් මගින් ආරක්ෂක අංශ ප‍්‍රහාරයකට පෙළඹවීමට උත්සාහ ගන්නා බවය. මෙම උද්ඝෝෂණ සඳහා මුදල්දී මිනිසුන් රැගෙන එන බවය. මේ සියල්ල සඳහා පිටරටින් ඩොලර් ලැබෙන බවය. මේ වෛරී හා අසත්‍ය මඩ ප‍්‍රචාරයන් සඳහා තවදුරටත් ලූණු ඇඹුල් එකතුකරමින් ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ද විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් මගින් ජනවාරි 23 වැනිදා ඔහු යටතේ ඇති ජනමාධ්‍ය ආයතන සිදුකරන ආචාරධර්මික නොවන වෛරී හා අසත්‍ය මඩ ප‍්‍රචාර සාධාරණීකරණය කර තිබුණි.

අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාකරණයේ යෙදෙන වෙබ් මාධ්‍යවලට ආචාරධර්ම හඳුන්වාදිය යුතුයැ යි කියමින්, නීත්‍යනුකූල නොවන ආකාරයට එම මාධ්‍ය අවහිර කරමින්, තහනම් කරමින් සිටින ආණ්ඩුව හා එහි ජනමාධ්‍ය ඇමතිවරයා ආණ්ඩුවේ මාධ්‍යවල මේ හැසිරීම සඳහා කියන්නේ කුමක්දැ යි පැහැදිලි කළ යුතුය. අනුන්ට ආචාර්ධර්ම උගන්වනවාට වඩා ආණ්ඩුවත්, ජනමාධ්‍ය ඇමතිවරයාත් මුලින්ම සිදුකළ යුත්තේ රාජ්‍ය මාධ්‍ය ආයතනවලට ආචාරධර්ම හඳුන්වාදීමය. ඒ අනුව කටයුතු කිරීමට උගැන්වීමය. ඒවා කඩකරන මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට එරෙහිව කටයුතු කිරීමය. ආදර්ශය ඉහළින්ම ආවිට ආණ්ඩුවේ ප‍්‍රවේශය සද්භාවයෙන්යැ යි අපට උපකල්පනය කළ හැකිය. තමන් ඇදේට ඇවිදිමින් අනිත් අයට කෙළින් ඇවිදින්නයැ යි කීමේ පලක් නැත. වෙබ් වාරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතයට උඩගෙඩි දෙන ආණ්ඩුව වෙනුවෙන් නොමිලේ කඬේ යමින් තප්පුලන මාධ්‍ය ඔස්තාර්ලාද මේ සත්‍යය තේරුම් ගත යුතුය.

කළු ජනවාරියට එරෙහි ප‍්‍රචාරයන් සඳහා ආණ්ඩුවේ මාධ්‍ය පුවත්පත් කතුවරුන්ද, මාධ්‍යවේදීන්ද, කොලම් රචකයන්ද යොදාගෙන තිබුණි. ඔවුන් ඒ පිළිබඳව පළකර තිබූ අදහස් ගැන සාකච්ඡාව පසුවට තැබූ විට ආණ්ඩුව කළු ජනවාරිය කඩාකප්පල් කිරීම සඳහා ඊළඟට යොදාගත්තේ පොලීසියය. ජනවාරි 24 වැනිදා කොටුව පොලීසිය කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ප‍්‍රකාශ කළේ කළු ජනවාරිය නම් විරෝධතා ව්‍යාපාරයක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ජනවාරි 25 වැනිදා පැවැත්වීමට නියමිත බවත්, එමගින් මහජන කටයුතුවලට බාධා වුවහොත් පොලීසිය අවශ්‍ය පියවර ගන්නා බවත්ය. එහි වැඩිදුර වාර්තාවක් ජනවාරි 25 වැනිදා මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලීසිය පැවසුවේ නිදහසේ වේදිකාව නම්වූ සංවිධානයත් මේ උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වන්නට යන බවත්, ඔවුන් පෙළපාළියකින් ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ අරලිගහ මන්දිරයට යෑමට සූදානම් බවත්, එම කටයුතු වැළැක්වීමට නියෝගයක් ලබාදෙන ලෙසත්ය. ඒ අනුව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය වූයේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ග අවහිර වන සේ උද්ඝෝෂණය කිරීමත්, මාර්ග අවහිර කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට හෝ අරලියගහ මන්දිරය දෙසට ගමන් කිරීමත් තහනම් බවය. එය කඩකළහොත් ඊට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව පොලීසියට ලබාදෙන බවය. නියෝගය නිකුත් වූයේ බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, සුනිල් ජයසේකර හා ධර්මසිරි ලංකාපේලි යන අයට එරෙහිවය. ඇත්ත වශයෙන්ම නිදහසේ වේදිකා සංවිධානයේ හෝ එහි ක‍්‍රියාකාරී බි‍්‍රටෝ ප‍්‍රනාන්දුගේ සම්බන්ධයක් කළු ජනවාරිය සංවිධානය කිරීම සඳහා තිබුණේ නැත. කළු ජනවාරිය සංවිධානය කරනු ලැබූයේ මාධ්‍ය සංවිධාන හතක් එකතුවීය. ආණ්ඩුව ඒ බව නොදන්නවා නොවේය. එහෙත් ආණ්ඩුව උපක‍්‍රමිකව සිදුකළේ ජනමාධ්‍ය විරෝධතාවක් නැවැත්වීම සඳහා ඔවුන් අධිකරණයෙන් නියෝගයක් ලබාගත්තේ යන අපවාදයෙන් ගැලවීම සඳහා ඊට වෙනත් පිරිසක්ද ඈඳමින් කටයුතු කිරීමය. ඒ අනුව ආණ්ඩුව අධිකරණ නියෝගයක් මගින් නවත්වන්නට උත්සාහ කර ඇත්තේ ජනවාරි 25 වැනිදා කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වීම සඳහා සූදානම් කර නොතිබුණු වෙනත් උද්ඝෝෂණයක්ය. එය මාධ්‍ය සංවිධාන සංවිධානය කළ කළු ජනවාරිය නොවේය යන්න ආණ්ඩුවට කිවහැකිය. මෙවැනි බාලාංශ වැඩවලට ආණ්ඩුව අතිදක්ෂය.

මේ දිනවල ආණ්ඩුව ඊටත් වඩා අතිදක්ෂ ලෙස සිදුකරන්නේ ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ කඩාකප්පල් කිරීම සඳහා පාතාල ගණයේ මැරයන් මහපාරට ගෙන ඒමය. කොටුව දුම්රියපොළ ඉදිරිපිට කළු ජනවාරියේ උද්ඝෝෂණය කඩාකප්පල් කිරීම සඳහාද ආණ්ඩුව මේ දෙයම කර තිබුණි. රාජ්‍ය මාධය ආයතනවල දේශපාලන හෙංචයියන්ද, වරාය අධිකාරිය ඛනිජ තෙල් සංස්ථාව ආදී රාජ්‍ය ආයතනවල දේශපාලන හෙංචයියන්ද, ස්වයංරැ කියා නියුක්තිකයන්ගේ සම්මේලනය නමැති පදික වෙළෙඳුන්ද කැඳවා තිබුණි. ඔවුන් මාධ්‍ය සංවිධානවල විරෝධතාවයේ අවකාශ අවුරමින් හා මාර්ග බදුගනිමින් පෙළපාළි ගියේ කාගෙද මේ බලවේගේ, ජනපතිඳුගේ බලවේගේයැ යි කියමින්ය. විරෝධය එල්ල කරනු ලැබූයේ මාධ්‍ය සංවිධානවලට හා මාධ්‍යවේදීන්ටය. අධිකරණයට කරුණු වාර්තා කරමින් මහජන හිරිහැර වැළැක්වීම සඳහා නියෝග ඉල්ලූ නීතිය සැමයට සාධාරණ කොන්ද ඒ අවස්ථාවේ වකුටු වී මුහුණ දෙකකුල් අස්සේ ඔබාගෙන සිටියේය. මාර්ග වසා පෙළපාළි යන්නන්ට ආරක්ෂාව මේ රාජපාක්ෂික පොලීසිය සපයමින් සිටියේය. ගැටුමකට බලෙන් යෑමට අකමැති වූ මාධ්‍ය සංවිධාන කළු ජනවාරිය නම් වූ සිය විරෝධතාව ලිප්ටන් වටරවුම කරා ගෙන ගොස් පවත්වන්නට යෙදුණි.

මාධ්‍ය සංවිධානවලට කළු ජනවාරියක් අවශ්‍ය වූයේ ඇයි?

සැබැවින්ම ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යයට එරෙහිව සිදුවූ අපරාධ සම්බන්ධයෙන් පිළිගත හැකි ආකාරයේ කිසිදු පරීක්ෂණයක් මෙතෙක් සිදුකර නැත. ජනමාධ්‍ය ඇමතිවරයාගේ සහ කළු ජනවාරියට එරෙහිව ආණ්ඩුවේ මතය වෙනුවෙන් පෙනී සිටි ජනමාධ්‍ය කර්තෘවරුන්ගේ හා ජනමාධ්‍යවේදීන්ගේ දැනගැනීම සඳහා ඒවාහි ජනවාරි මාසයේ සිදුවීම් කිහිපයක් මෙසේ පෙළගැස්සවිය හැකිය. උදයන් පුවත්පතේ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් වාර්තාකරු එස්. සුගීර් ධරාන්ව වෙඩි තබා ඝාතනය කිරීම, ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිෂ්පාදවරයකු වූ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේට තියුණු ආයුධවලින් ප‍්‍රහාර එල්ල කිරීම, තිනකරන් පුවත්පතේ සහාය කර්තෘ සුහීබ් එම්. කසීම්ට එල්ල වූ කිනිසි ප‍්‍රහාරය, සිරස මැදිරි සංකීර්ණයට එල්ල කළ ප‍්‍රහාරය, සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීම, රිවිර පුවත්පතේ කර්තෘ උපාලි තෙන්නකෝන්ට එල්ල කළ සන්නද්ධ ප‍්‍රහාරය, ජනමාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම, ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිනි තැබීම, ඊට අයත්ය. මීට අමතරව ජනමාධ්‍යවේදී පෝද්දල ජයන්තව පැහැරගෙන ගොස් දරුණු වධහිංසා සිදුකර පහරදීම ආදී වෙනත් මාධ්‍යවල අනන්තවත් ඝාතනය කිරීම්, පහරදීම්, බියවැද්දීම් ආදී ජනමාධ්‍යයට එරෙහි සිදුවීම් ඇත. දඬුවම් ලබාදීම තබා මේ කිසිදු සිදුවීමක සැබෑ සැකකරුවෙක් හෝ තවම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා බුද්ධි අංශ හෝ විමර්ශන අංශ සමත් වී නැත.

ආණ්ඩුවේ මාධ්‍යවලට ගොඩවී ආණ්ඩුවේ න්‍යාය පත‍්‍රය වෙනුවෙන් නොමිලේ හෝ අප නොදන්නා වරප‍්‍රසාදයන් වෙනුවෙන් තප්පුලන මාධ්‍ය සගයිනි (එසේ කීමද ලැජ්ජාසහගතය.) ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ජනමාධ්‍යයට එරෙහි සිදුවීම්වල පමණක් සැබෑ සැකකරුවන් අත්අඩංගුවට ගන්නට අසමත්වීම ඔබ දකින්නේ කෙසේද? ඇත්තටම ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ අසමත්ද? නැතිනම් ජනමාධ්‍යයට එරෙහි සිදුවීම්වලට පමණක් අසමත්ද? එය එසේ වේ නම් ඊට හේතුව කුමක්ද? ආණ්ඩුව වෙනුවෙන් තප්පුලන මහත්වරුන් කියන්නේ යුද්ධයක් පවතින විට මානව හිමිකම් කඩවීම් සිදුවිය හැකි බවය. ඝාතන සිදුවිය හැකි බවය. යුද්ධයකට ඍජු සම්බන්ධයක් නැති සිවිල් පුද්ගලයන්ද එම කාලයේදී ඝාතනය වූ බවය. එනයින් මේ තප්පුලන මහත්වරුන් වක‍්‍රාකාරයෙන් කියන්නේ ජනමාධ්‍යයට එරෙහි සිදුවීම් ආණ්ඩුව හෝ ආණ්ඩුවේ අණ ලැබූවන් විසින් සිදුකළ බවද? ඒ නිසාම එම සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ අනවශ්‍ය බවද? තප්පුලන මහත්වරුනි, වැඩිමනත් අවශ්‍ය නැත. ජනවාරි 25 දින කළු ජනවාරිය සැමරීමට එරෙහිව වෛරී මාධ්‍ය භාවිතාවක යෙදෙමින්, අධිකරණ නියෝග ලබාගනිමින් හා ආණ්ඩුවේ මැරයන් මහපාරට බස්සවමින් සිදුකළ බාධාව මාධ්‍ය නිදහසද?

ජනපති, ආරක්ෂක ලේකම් හා ජනමාධ්‍ය ඇමතිගේ ලිට්මස් පරීක්ෂාව සඳහායි

ජනමාධ්‍යයට එරෙහිව සිදුවන සිදුවීම්වලදී ආණ්ඩුව සිය නිදහසට කරුණු වශයෙන් ප‍්‍රකාශ කරන්නේ පරීක්ෂණ සඳහා අවශ්‍ය ප‍්‍රමාණවත් සාක්ෂි නැති බවය. අපරාධකරුවන් සෑම අපරාධයක්ම ඇසින් දුටු සාක්ෂි ඉදිරියේ සිදුකරන්නේ නැත. එසේ වුවද ජනමාධ්‍යයට එරෙහි අපරාධවලට අමතරව සිදුවන අපරාධවලදී ඒවාහී සැබෑ සැකකරුවන්ව ඇසින් දුටු සාක්ෂි නොමැතිව පැය ගණනක් ඇතුළතදී හෝ දින ගණනාවකදී අත්අඩංගුවට ගැනීමට ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සමත්ය. අභිරහස්ව සිදුවන මිනීමැරුමක් නම් ඒවා අපරාධකරුවන් හඳුනාගන්නේ ඝාතනයට ලක්වූ පුද්ගලයා නැගිට සාක්ෂි ලබාදීමෙන් නොවේය. ආණ්ඩුවේ මේ නියාය අනුව ඝාතනයට ලක්වූ සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග නැගිට ඔහුව ඝාතනය කළේ කවුදැයි සාක්ෂි ලබාදිය යුතුය.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේත්, ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේත් ලිට්මස් පරීක්ෂාව සඳහා අවශ්‍යනම් ජනමාධ්‍යවේදියකුට එරෙහිව මෑතකදී එල්ලවූ තර්ජනයක් පිළිබඳව සාක්ෂි සහිත විස්තර අපට ඉදිරිපත් කළ හැකිය.

මාධ්‍යවේදියා ලංකා ඊනිව්ස් වෙබ් අඩවියේ හා මව්බිම පුවත්පතේ සේවය කළ ආණ්ඩුවේ තර්ජන නිසා ඉවත්වන්නැයි මව්බිම පාලනාධිකාරිය දැනුම් දුන්, ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍රකලාවේදීන්ගේ සංගමයේ විධායක සභික ශාන්ත විජේසූරියය.

හමුදා බුද්ධි අංශයේ යැයි කියා ගන්නා පිරිසක් ඔහුට දුරකථන ඇමතුම් ලබාදෙමින් විවිධ ආකාරයේ තර්ජනය කිරීම් සිදුකරන බවත් ඔහුගේ නිවසට හා ඥාති නිවෙස්වලට පැමිණි විවිධ තර්ජනය කිරීම් සිදුකරන බවටත් 2011 ඔක්තෝබර් 25 දින CIB IF 285/64 යටතේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එම පැමිණිල්ල ඉදිරිපත්කිරීම සඳහා මාධ්‍ය සංවිධාන නියෝජිතයන්ද එදින ගියේය. මේ පැමිණිල්ලම පිළියන්දල පොලීසියටද ඉදිරිපත් කළේය.

එම පැමිණිලිවලදී ඔහු ඔහුට හමුදා බුද්ධි අංශයේ යැයි කියා බලපෑම් කළ දුරකථන අංක තුනක් ලබාදුන්නේය. එම අංක වන්නේ 0664917604 ,           0714945856, 0778480669 ය. ඊට අමතරව රොස්මිඞ් පෙදෙසේ මව්බිම පුවත්පත් කාර්යාලය අසලට PB 9654 දරණ සුදුවෑන් රථයෙන් එම හමුදා බුද්ධි අංශයේ යැයි කියාගත් පිරිස පැමිණි බවද සඳහන් කළේය.

පැමිණිල්ල ඉදිරිපත්කර ජනවාරි 25 දිනට මාස තුනක් ඉකුත්වීය. කරන ලද පරීක්ෂණයක් පිළිබඳව කිසිවක් ඔහුට මේ වනතුරු දැනුම් දී නැත. කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන හෝ නැත.

මෙතරම් සාක්ෂි තිබෙන ජනමාධ්‍යයට එරෙහි මෙම පැමිණිල්ලවත් ඉදිරියට නොයන්නේ ඇයි? මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට තර්ජනය කරන ලද පිරිස ආණ්ඩුවේ අනුදැනුම ඇතිව එම බිය ගැන්වීම හා තර්ජනය කිරීම් කරන පිරිසක් වීම නිසාද?

ලසන්ත රුහුණගේ
උපුටා ගැනිම – රාවය පුවත්පත

Advertisements

About blackjanuarysrilanka

Media Organization in Sri Lanka

Posted on January 30, 2012, in FMM, Media, Media Freedom, Protest and tagged , , , , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: